The Monk Who Sold his Ferrari – Robin Sharma (ඔබ දිනවන පියවර හත..) BuzzFeed.lk
The Monk Who Sold his Ferrari – Robin Sharma (ඔබ දිනවන පියවර හත..)

රොබින් ශර්මා නම් සුප්‍රසිද්ධ ලේඛකයා විසින් රචිත The monk who sold his ferrari කෘතිය ගැනයි මේ සටහන.ඔහු නමින් ජූලියන්.ලෝයර් කෙනෙක් වුණු ඔහු ඉතාමත් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ අයෙක්.විශාල මන්දිරයක් ,පෞද්ගලික ගුවන්‍ යානයක්,ෆෙරාරි රථයක් ඔහු සතුයි.දිනකට පැය 18ක් පමණ වෙහෙසෙන ඔහු 53න් වැනි වියේදී වයස අවුරුදු 80ක පමණ පෙනුමකින් යුතු වෙනවා.එපමණක් නොව ඔහුට දික්කසාද වීමටත් පවුලේ උදවිය සමඟ සිටීමටත් නොහැකි වෙනවා.


දිනක් හදිසියේ ක්ලාන්ත වන ජූලියන් රෝහල්ගත කළ පසු ඔහුට හෘදයාබාධයක් වැළඳී ඇති බව තහවුරු වෙනවා.පසුව ඔහු තමාගෙ සියලු වත්කම් විකුණා දමා හිමාලයේ බලවත් සෘෂිවරුන් වෙසෙන පෙදෙසක ජීවිතය අවබෝධ කරගැනීමට උත්සාහයක යෙදෙනවා.සැබවින්ම ඔහු සාර්ථකයි.ඔහුට සෘෂිවරුන්ගෙන් ලැබෙන උපදෙස නම් මේ උගත් කරුණු ලෝකයට පවසන ලෙසයි.ඉතාමත් නිර්මාණශීලි උපමා රැගත් උදාහරණයක් හරහා ජීවිතයට වැදගත් කරුණු 07ක් පෙන්වාදුන් මෙම කතාව ඔබටත් අනිවාර්යයෙන්ම වැදගත් එකක් වන බව විශ්වාසයි.


01) මල්,ගෙඩි පිරුණු ගෙවත්ත :ජීවිතයට හොඳ දේවල් අවැසි බව මෙයින් පෙන්වාදෙයි.එනම් ගෙවත්තක් ලස්සන මලින් පිරුණු එකක් වන්නේත් එය කුණු කන්දකින් පිරුණු තැනක් වන්නේත් ඔබේ තීරණ අනුවයි.එසේම ඔබේ මනසත් එයාකාරයෙන්ම ඔබ තීරණය කළ පරිදි සැදුම්ලත් එකක් බව මෙයින් පෙන්වාදෙයි.කරුණාව,ආදරය ,සංවේදී බව මනස තුළ වගා කළ යුතුය.හිස් මනසක් යනු යක්ෂයාගේ වැඩබිම හා සමාන වූවකි.


02) ප්‍රදීපාගාරය :ප්‍රදීපාගාරයක් යනු නැවක් ගමන් කළ යුතු නිවැරැදි මාර්ගය පෙන්වාදෙන්නකි.එසේ නම් ජීවිතය නැමැති නෞකාවටත් නිවැරැදි මාර්ගය එසේත් නැතිනම් නිවැරැදි අරමුණු සහ ඉලක්ක පැහැදිලි ලෙස පෙන්වාදිය යුතු බව මින් අදහස් කරයි.එය ඔබට සාර්ථක ගමනාන්තයක් ලබාදෙනු ඇත.දුෂ්කරතාවනට සාර්ථකව මුහුණ දීමට ප්‍රදීපාගාරයක් ලෙස ඔබට ඇති නිවැරැදි ඉලක්ක උපකාරී වේවි.


03) සුමෝ මල්ලවපොර ක්‍රීඩකයා :කයිසන් යනු ජපන් වචනයකි.එනම් එයින් අඛණ්ඩ ඉගෙනුම සහ වැඩිදියුණු කිරීම යන අරුත් සපයයි.දක්ෂ මල්ලවපොර ශූරයෙක් බිහිවීමටත් හොඳ විනයක් මෙන්ම නිවැරැදි ආහාර රටාවක් අඛණ්ඩව පවත්වාගෙන යාම වැදගත් වේ.එමෙන්ම ඔබට ඔබේ හොඳම උපදේශකයින් ලෙස පොත් පරිහරණය කළ හැකිය.දැනුම යනු කල් ඉකුත් වන දෙයක් නොවේ.වඩාත් වැදගත් වන්නේ එහි අඛණ්ඩව නියැලීමයි.


04) සිහින් වයරයකින් යුත් සුමෝ ක්‍රීඩකයාගේ යටි කය වැස්ම :මෙයින් පෙන්වාදීමට උත්සාහ ගන්නේ ස්වයං පාලනයයි.එමෙන්ම විනයයි.ආත්ම දමනය පිළිබඳවයි.ඉතාමත් කුඩා දේවල් පිළිබඳව අපේ ඇති නොසැලකිලිමත් බව කෙතරම් නම් අභාග්‍ය ද යන්න මෙයින් අදහස් කරයි.ඒ අනුව ඉතාමත් සරල යැයි අපි සිතන වේලාසනින් අවදිවීම ,සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම ,ව්‍යායාම්හි නිරතවීම යනාදිය සැබෑවටම අතිශය වැදගත් දේවල් බව මේ හරහා ඔබට මට දැනුම් දෙයි.


05) රන්මය ඔරලෝසුව :මේ ලෝකයේ දුප්පත් ,පෝසත් ,සාර්ථක ,අසාර්ථක කාට වුවද ඇත්තේ පැය 24ක්ම පමණක් බව මෙයින් පෙන්වාදෙයි.එනම් ලෝකයේ සාර්ථක වූ කිසිම කෙනෙක්ට වැඩිපුර එක තත්පරයක්වත් හිමි නොවුණු බවයි.වැදගත් වන්නේ එම සීමිත කාලය කෙසේ නම් වැය කළ යුතු ද යන්නයි.ජීවිතය යනු වැඩ කිරීමමත් නොවේ.ඔබට ඔබේ ජීවිතය විඳීමට ද මේ කාලය තුළම ඉඩක් වෙන්කර ගත යුතුය.


06) රෝස සුවඳ :අන් අයට මල් ලබාදෙන පුද්ගලයාගේ අතෙහි සෑම විටම කුඩා හෝ සුවඳක් ඉතිරිව පවතින බවට කියමනක් ඇත.අපි සමාජය වෙනුවෙන් යමක් කළ යුතුය යන්න රෝස සුවඳින් පවසයි.අසරණයින්ට පිහිට වීම ,වැඩිහිටියන්ට සැලකීම ,දන් දීම යන උතුම් කාරණා පිළිබඳව මෙයින් අදහස් කරයි.


07) දියමන්ති මාවත :අපගේ ජීවිතයේ ඉතාමත් කුඩා වුවද සැමරිය යුතු අවස්ථා පැමිණේ.උදාහරණ ලෙස උපන්දිනය,විවාහ සංවත්සරය ,දරුවන්ගේ වැදගත් අවස්ථා,ආදරණීයන්ගේ ජයග්‍රහණයන් යනාදියයි.නමුත් හදිසි මෙන්ම අත්‍යාවශ්‍ය රාජකාරි ලෙස පවසමින් අපි මෙවැනි අවස්ථා කොතෙක් නම් අතපසු කර තිබේද..දරුවන් සමඟ සෙල්ලම් කිරීමට ,සහකරු හෝ සහකාරිය සමඟ කාලය ගෙවීමට ඔබට පොඩි හෝ වේලාවක් වෙන්කළ හැකිය.රොබින් ශර්මා සිය කෘතිය තුළින් අපිට පවසන දියමන්ති පිරුණු මාවත නම් මෙයයි.


මේ කතාව තුළ ඔබට මට ගතහැකි ආදර්ශ බොහෝ ඇති බව පැහැදිලියි.ජීවිතය කියන්නෙ මුදල්ම නෙවෙයි.සාර්ථකත්වය අවශ්‍ය දෙයක් බව සැබෑය.නමුත් අවබෝධයක් නැතුව ළඟා කරගන්නා සාර්ථකත්වය ඵල රහිත බවත් ඔබට වැටහෙනු ඇති.


The Monk Who Sold His Ferrari

November 23rd 2020