ජීවිතේ ඔබ මෙතෙක් ගෙවූ කාල සීමාව ගැන නැවත ආපස්සට හැරී බැලුවහොත් වැටහේවි මෙතෙක් පසුකළ සෑම දිනයක්ම මහත් වූ අභියෝගයන්ගෙන් පිරුණු දවස් බව. එදා සිට අද දක්වා ගෙවා දැමූ ඒ අභියෝග නොවෙන්නට අද ඔබ කොතැනක නම් සිටීවිද?? එසේ නම් අභියෝගවලට අභියෝග කරමින් ඉදිරියට යන්නෙ කෙසේද යන්නත් එලෙස ඉදිරියට ගියවුන්ගේ ජීවිත පිළිබඳවත් ඔබ දැනගත යුතුම නොවේද…
ජීවත්වීමම අභියෝගයක්
මාස ගණනක් තිස්සේ මවගේ කුස තුළ කළලයක්ව ජීවත් වුණු අපි මුලින්ම සාමාන්‍ය පරිසරයට නිරාවරණය වන්නේම අභියෝග රැසක් මැද. එතැන් සිට ක්‍රමයෙන් කුඩා බිළිඳකු ලෙස දරුවෙකු ලෙස යෞවනයෙකු ලෙස වැඩිහිටියෙකු ලෙස මවක් පියෙක් වෘත්තිකයෙක් ලෙස ආදි සෑම සියලු භූමිකාවක් තුළදීම ඉමහත් වූ අභියෝග රැසකට මුහුණදීමට ඔබටත් මටත් නිරායාසයෙන්ම සිදුවෙයි.ආහාර ඇඳුම් පැළඳුම් වාසස්ථාන ලෙස ගැනෙන මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමේ සිට මිනිසා මෙතෙක් ආ ගමන් මග නේකවිද අභියෝග සහිත දුෂ්කර වූ ගමනක් බැව් නොරහසක් .එසේ නම් ජීවිතය යනු අභියෝගයක් බවත් ජීවත්වීම යනු ජීවිතය නැමැති අභියෝගයට පෙරළා කරන්නාවූ අභියෝගයක් බවත් පැහැදිලිවනු ඇති.
අභියෝග නිසා තැනෙන ශක්තිවන්තයෝ
ජීවිතේ අපිට මුණගැහෙන අභියෝගයන්ට දිය යුතු හොඳම පිළිතුර වන්නේත් අභියෝගයමයි.අභියෝගවලට අභියෝග නොකර ඊට පිළිතුරු සෙවිය නොහැකි බව යථාර්ථයයි.එසේ පිළිතුරු සොයා යන ගමනේදි එක් පිරිසක් ශක්තිමත් ලෙසත් තවත් පිරිසක් දුබලයින් ලෙසත් වර්ග වීම සාමාන්‍ය කාරණාවක්. කෙසේවෙතත් අපි සිටිය යුත්තේ මේ දෙපිරිස අතරින් ශක්තිමත් පිරිස තුළයි. අභියෝග තනන්නේ ශක්තිවන්තයෝ මිස දුබලයින් නොවන බව තරයේ සිහිතබා ගත යුතුය .
ලෝකය මුහුණදෙන අභියෝග
යුද්ධය , දිළිදු බව,වසංගත රෝග ,ස්වාභාවික ව්‍යසන ආදි නේක ආකාර අභියෝග හමුවේ ලෝකය දිනෙන් දින පීඩාවිදින ආකාරය දැකිය හැකිය .නමුත් ලෝකය විනාශ වී යාමට නොදී තවදුරටත් ආරක්ෂා වී ඇත්තේද මෙකී අභියෝගයන්ට නිසි ලෙස අභියෝගාත්මකව පිළිතුරු සෙවූ නිසා බවත් අමතක නොකළ යුතුය .ලෝක යුද්දය හමුවේ කඩා වැටුණු ජපානය නැවත සුපිරි බලවතෙක් ලෙස නැගීසිටි ආකාරය , සුනාමියෙන් විනාශ වූ රටවල් නැවත නැගීසිටි ආකාරය ඊට කදිම නිදසුන් සපයයි.
ආශිර්වාදයක් වුණු අභියෝග
සෑම අභියෝගයක්ම කුමනාකාරයේ හෝ වෙස්වලාගත් ආශිර්වාදයක් බව සිහිතබාගත යුතුයි. තමන්ගේම ව්‍යාපාරයෙන් ප්‍රතික්ෂේප වන ස්ටීව් ජොබ්ස් එදා එම අභියෝගයට සාර්ථකව මුහුණ නොදුන්නේ නම් අද වන විට ඔබ අතේ අයි ෆෝනයක් නොතිබෙන්න තිබුණු ඉඩකඩ වැඩියි . තෝමස් අල්වා එඩිසන් අභියෝග මැද අසීමිත වාර ගණනක් අසාර්ථක වී විදුලි බුබුළ නිපදවා නොතිබුණේ නම් අදත් ලෝකයේ ඒ වෙනුවෙන් පර්යේෂණ සිදුවෙමින් පවතීවි.එසේ නම් කුමනාකාරයේ අභියෝග පැමිණියද ඊට සාර්ථකව මුහුණදීම විනා කළ යුතු අන් විකල්පයක් නොමැති බව ඔබටත් වැටහේවි.එසේ අභියෝග නො එන්නට ඔබේ සාර්ථකත්වය බොහෝ ඈත වන්නටත් පුළුවන් .
අභියෝග හමුවේ නොසැලී සිටි මිනිසුන්
අභියෝගයන්ට අභියෝග කළවුන්ට ලෝකයේ උදාහරණ ඕනෑ තරම් . විවිධ ශාරීරික දුබලතාවයන් හමුවේ නොසැලී ආශ්චර්යජනක ලෙස අපූරු ආකාරයෙන් ලොව දිනූවන් කොතෙකුත් ඇති . ස්ටීවන් හෝකින් , නික් වුයෙචිච් , මාර්ලා රන්යාන් , ජෝන් හොකන්බෙරි වැන්නවුන්ගේ ජීවිතය ඊට උදාහරණ සපයයි .ඔවුන්ගේ චරිත කතා කියවීම සහ අධ්‍යනය කිරීම සිදුකළහොත් ඔබට මට ඇත්තේ කුමන අභියෝගයක්දැයි පසක්වනු ඇති .
ස්වාභාවික පරිසරයටත් අභියෝග
ඒකාකාරීව ගලායන ගංගාවක ඇති ලස්සනට වඩා ගල්මුල් මත හැපෙමින් ගලා යන ගංගාවක ඇති සුන්දරත්වය කෙතරම්ද යන්න අමුතුවෙන් කිවයුතු නොවේ.බාධක පෙරට ආවද නොනැවතී ඉදිරියටම ගලන ගංගාව මෙන් අභියෝග හමුවේ නොසැලී ඉදිරියටම ගෙන යායුතු ජීවිතයද අපිට පාඩම් රැසක් උගන්වාවි.ගිනිගෙන දැවුණද නැවත දළුලන වනාන්තරද , පිටාර ගලා ගියද මල් පිපෙන ගිනිකඳුද අභියෝග ජයගැන්ම ගැන ඔබට පාඩම් උගන්වාවි .
එසේ නම් තද සුළං සේම වැස්සද සමඟ නැගෙන දේදුන්න මෙන් අභියෝග හමුවේ නොසැලී අභියෝගයන්ට අභියෝග කරමින් ජීවිතය ඉදිරියටම ගෙන යායුතු බව ඔබටත් පැහැදිලි වේවි . දිනෙක ඔබට ඔබ ගැනම ආඩම්බරව අභිමානයෙන් යුතුව කතා කිරීමේ හැකියාව ලැබීමට නම් අභියෝගවලට ඔබ අභියෝගයක් වී තිබිය යුතුමය .
An Award-winning Website
for the Best SEO campaign of 2020,
SLIM DIGIS 2.0 Awards
Striving towards making Sri Lanka a better place to shop with great savings