ඉතුරු කරනවද ( saving ) ? ඉන්වෙස්ට් කරනවද ( invest ) ? හරිම විදිහ මෙන්න Findit.lk
ඉතුරු කරනවද ( saving ) ? ඉන්වෙස්ට් කරනවද ( invest ) ? හරිම විදිහ මෙන්න

ඔබ මුදල් ඉතුරු කරනවද ? එහෙමත් නැත්තම් මුදල් ආයෝජනය කරනවද ? සමහර කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේ දෙකේ වෙනස මොකක්ද දෙකම එකයිනේ කියලා. නැහැ , ඇත්තටම ඉතුරු කිරීම සහ ආයෝජනය කිරීම කියලා කියන්නේ වෙනස් අංශ දෙකක්. ඉතින් අද අපි ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන්නෙ මෙන්න මේ වෙනස ගැන. ඔබ උපයන මුදල කොපමණක් උනත් එයින් ඉතුරු කරනවාද ? එහෙමත් නැත්තම් ආයෝජනය කරනවාද යන්න ඔබ තීරණය කළ යුතුයි.


ආයෝජනය කිරීම සහ ඉතිරි කිරීම අතර ඇති වෙනස කුමක් ද? 


ඉතිරි කිරීම කියන්නේ මුදල් ටිකෙන් ටික එක් තැනක රැස් කිරීමයි. එනම් එය පසුව භාවිතයට ගන්නා විටත් එය මුදල් මයි. 


උදා : ඔබේ ආදායමෙන් රුපියල් 5000 බැගින් මාස හයක් ඉතිරි කිරීම. මෙහිදී මාස හය අවසානයේ ඔබට රුපියල් 30000ක මුදලක් මුදල් වලින් ම ලැබෙනු ඇත.


ආයෝජනය කිරීම කියන්නේ එකවර යම් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් යොදවමින් අනාගතයේ වටිනාකම වැඩි වෙන වත්කමක් මිල දී ගැනීමයි. මෙය පසුව භාවිතයට ගන්නා විට මුදල් වීමට හෝ නොවීමට පුලුවන්. 


උදා : ඔබ ලක්ෂ 10ක් ආයෝජනය කර ඉඩමක් මිලදී ගැනීම. වසර 10කින් මෙහි අගය විශාල ලෙස වැඩි වී තිබෙනු ඇත. 


ඉතිරි කිරීම තෝරාගත යුත්තේ ?


හදිසි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීමට ඔබ මුදලක් ඉතුරු කර ගත යුතුයි. 


සාමාන්‍යයෙන් ඔබේ ඉතුරුමේ මාස තුනක සම්පූර්ණ ජීවන වියදම ක්ෂණික ව ලබාගත හැකි ගිණුමක ඉතිරි කොට තැබිය යුතු බව කියැවෙනවා. මෙහි සම්පුර්ණ වියදම යනු ආහාර, බිල්පත්, කුලී , ප්‍රවාහන ගාස්තු ආදී සියලුම වියදම් ය. මෙමගින් යම් හෙයකින් ආදායම බිඳ වැටුණේ නම් ඔබේ ආර්ථික ශක්තිමත් භාවය සුරැකනවා. 


ඉතිරි කිරීම් පවත්වා ගන්න.


දැන් ඔබට හදිසි ඉතුරුමක් තිබෙනවා. ඔබේ ආදායමෙන් 10%ක් හෝ ඊට වැඩි ඔබට හැකි ප්‍රමාණයක් ඉතිරි කිරීම ඉන්පසු ඔබට කළ හැකියි. ඔබ රුපියල් 500ක ආදායමක් ලබනවා නම් රුපියල් 50ක් හෝ ඉතිරි කිරීම වැදගත්. මෙහි දී වර්තමානයේ ඔබ ඉතිරි කරන මුදලේ ප්‍රමාණයට වඩා වටින්නේ ඔබ අනාගතයේ වැඩියෙන් උපයන විට ඉතිරි කිරීමේ පුරුද්ද ඇති වී තිබීමයි. මේ ඉතුරුම් නිවාඩුවක් ගත කිරීමට, විවාහ මංගල්‍ය උත්සවයක් ගැනීමට වැනි දේකට ඔබට ප්‍රයෝජනයට ගත හැකියි. 


ඔබ ආයෝජනය කිරීමට සූදානම් ද? 


මෙහි පිළිතුර තීරණය වන්නේ ඔබේ දිගුකාලීන, මධ්‍යකාලීන, කෙටිකාලීන අනාගත ඉලක්ක මතයි. 


කෙටිකාලීන ඉලක්ක – තව අවුරුදු පහක් ඇතුළත ඉටුකර ගත යුතු දේ

මේ සඳහා සාමාන්‍යයෙන් මුදල් බැංකු ගිණුමක ඉතුරු කිරීම සුදුසු බව සඳහන් වෙනවා. 


මධ්‍යකාලීන ඉලක්ක – අවුරුදු 5ත් 10ත් අතර ඉටු කරගත යුතු ඉලක්ක

සාමාන්‍යයෙන් මේ සඳහාත් ගිණුමක මුදල් ඉතිරි කිරීම් නිර්දේශිතයි. එහෙත් ඔබට අවුරුදු ගණන අවසානයේ ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ ව මුලින් ම අදහසක් ලබා ගැනීම වැදගත්. ඔබට ආයෝජන ඉතුරුම් ගිණුමක් (Investment Saving) මේ සඳහා යොදාගන්නට පුලුවන්. මෙහිදී ඔබ යම් නිශ්චිත මුදලක් අදාළ වසර ගණන තුළ මාසිකව තැන්පත් කරන අතර සැලකිය යුතු පොළියක් සමග ඔබට අදාළ මුදල කල් පිරුණු පසු ලැබෙනවා. ඔබට මුලින් ම ඔබට ලැබෙන මුදල කොපමණ ද යන්න දැනගන්නට මෙයින් හැකියි.


දිගුකාලීන ඉලක්ක – ඔබට වසර දහයක් හෝ ඊට පසු ඇති අවශ්‍යතා 

මෙහිදී ඔබ සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක් තිබෙනවා. ආයෝජනය කරන මුදල නිසි කාලයේදී නිසි වටිනාකමක් ලබා දෙනවාද යන්න මූලික ව සලකන්නට අවශ්‍ය වෙනවා. එමෙන් ම මුලු මුදල එකම අයෝජනයකට යටත් කරනවා වෙනුවට ආයෝජන කිහිපයකට බෙදීමෙන් අවදානම අඩු කරගන්නට හැකියාව තිබෙනවා. 


අවශ්‍යතා සහ ඉලක්ක ඔස්සේ ආර්ථික සැලසුමක් (Financial Plan) සකසා ගතයුතු බව ඔබට පැහැදිලි ඇති. එකිනෙකාගේ අවශ්‍යතා සහ ඉලක්ක වෙනස් නිසා මෙවැනි දේට සරල සමීකරණ ඇත්තේ නැහැ. ඔබට අපහසු නම් විශේෂ්ඥයෙකුගේ සහය ලබාගන්නට ඔබට පුලුවන්. ඔබ කුමන තත්ත්වයක සිටියත් ඉතිරි කිරීමේ පුරුද්ද ඔබට වාසි මිස අවාසි නම් ගෙන දෙන්නේ නැති බව මතක තබාගන්න. මේ වගේ තවත් දේවල් දැනගන්න අපිත් එක්ක දිගටම එකතුවෙලා ඉන්න.


July 3rd 2024