දවසට පැය 24ක් මදි ද ? Findit.lk
දවසට පැය 24ක් මදි ද ?

දවසෙ පැය විසිහතරම වැඩකළත් ඔබේ වැඩ ගොඩ ඉවර කරගන්න බැරි වෙනවද? මැෂින් වගේ වැඩ කරන හැම කෙනෙකුටම වෙලාව ගතවෙන එක ගැන තියෙන්නෙ හරිම කනස්සල්ලක්. මේක දිගින් දිගට වෙන එක ඔබේ ඇඟ විතරක් නෙමෙයි මනසත් ලෙඩ ගොඩකට පැටලෙන භයානක තත්වයක්. මේ තත්වයෙන් බේරෙන්න හොඳම දේ තමයි මෙහෙම වෙන්නෙ ඇයි කියල ඔබ ම තේරුම්ගන්න එක. 

සැලසුම්සහගතව දවස ගතකරගන්න බැරිවුණේ මෙන්න මේ හේතු නිසා ද බලන්න.


හොඳින් නින්දට නොයෑම

නින්ද කියන්නේ හැම කෙනෙකුට ම අත්‍යවශ්‍ය ම දෙයක්. සෞඛ්‍යසම්පන්න ජීවිතයකට ආදරේ කරන හැම ‍කෙනෙක් ම නින්ද වෙනුවෙන් දවසේ පැය 6 ක් වෙන් කිරීම අවශ්‍යමයි. මතක තියාගන්න, අඩුවෙන් නිදාගත්තා කියලා වැඩියෙන් වැඩ කෙරෙන්නේ නැහැ. මතක තියාගන්න, වැඩියෙන්ම වැදගත්වෙන්නේ ඔබ කරන වැඩවල ගුණාත්මකභාවයයි.


සියලු දේ භාරගැනීම

ඔබට මේ ලො‍්කේ තියෙන හැම දෙයක් ම කරන්න බැහැ. සමහර විට ඔබට හැකියාව සහ දක්ෂතාව ඇති බොහෝ දේ ඇති. ඔබ ආශා කරන බොහෝ දේත් ඇති. ඒත් දවස තුළ ඔබට ඒ සියල්ල ම කරන්නට බැහැ. දවස තුළ සම්පූර්ණ කළ හැකි වැඩ කොටස පමණක් භාරගන්න. වැඩ කල් දැමීම නිසා ඔබේ මනසට දැනෙන අවිවේකය වගේම ඔබ ලවා වැඩක් ඉටු කරගන්නා පාර්ශවයටත් අපහසුතාවන්ට මුහුණ දෙන්න වෙනවා.


සැලසුම්සහගත නොවීම

ප්‍රමුඛතාව දෙන්න ඕනේ වැඩ මොනව ද කියලා නිවැරදිව හඳුනාගන්න බැරිවුණාම දවසේ පැය විසිහතර ඩබල් වුණත් ඔබේ වැඩ ඉවර වෙන්නෙ නැතිවෙයි. දවස පටන්ගන්නකොට ම අද දවසේ ඔබ විසින් කළ යුතුම වැඩ රාජකාරි එකින් එක සැලසුම් කරගන්න. අතරමැදදි ඔබේ සැලසුම් ‍ක්ෂණිකව වෙනස් කරගන්න වෙන අහඹු අවස්ථා ඇතිවේවි. ඒත් අත්‍යවශ්‍යම වැඩකටයුතු ටික ඔබට මඟනොහැර කරන්න නම් සැලසුමක් ඕනෙමයි.


අපිළිවෙළට වැඩකිරීම

හැම වැඩක්ම අවසානය තෙක් නොකරන බොහෝ දෙනාට සිදුවෙන ලොකුම අවාසිය තමයි අපිළිවෙළට වැඩකරන්නට සිදුවීම. කොච්චර වැඩ කළත් කළා කියල තමන්ටවත් දැනෙන්නේ නැත්තේ එහෙම වුණාමයි. සමහර අය කියන්නේ කොච්චර පිළිවෙළට අස්පස් කළත් වැඩක් නෑ කියලා. ඇත්තටම එහෙම වෙන්නෙ සුදුසු තැන්වල නිවැරදිව වැඩකරන්න ඔබට තියෙන නොහැකියාව නිසා තමයි.


අනවශ්‍ය විදියට කලබල වීම

වැඩ වැඩිවුණාම අනවශ්‍ය විදියට කලබල වුණොත් කරගෙන ආව වැඩ ටිකත් අතපසු වේවි. හුඟක් අයට හුඟක් දේ අමතක වෙන්නේ අනවශ්‍ය කලබලය නිසයි. තමන්ට වැඩ වැඩිවුණාම ඒක අනික් අයට පෙන්වන එක විදියක් තමයි ඔබේ අනවශ්‍ය කලබලය. ඒක ඔබේ වැඩ පහසු කරන්න කිසිම විදියකින් උදව් වෙන්නේ නැහැ.


තමන්ගෙ තරම අවබෝධ කර නොගැනීම

වැඩ කරනකොට තමන්ට කරන්න පුළුවන් මට්ටම හොඳින් තේරුම් ගන්න. හැමදේම තනියම තමන්ට ම කරන්න බැහැ. හොඳින් අදහස් හුවමාරු කර‍ගැනීමෙන් ඔබේ වැඩකොටස ඔබට සරල කරගන්න පුළුවන් වේවි. ඔබ අනුන්ගෙ වැඩත් එක්ක කරන්න යන්න අවශ්‍ය නැහැ. හැම කෙනෙකුටම වැඩ බෙදිලා යනකොට වැඩ කරන්න ඉතා පහසුයි. 


කනස්සල්ලෙන් වැඩ කිරීම

වැඩකරන හැම වෙලාවක දිම ඔබ දක්වන්නේ දැඩි අප්‍රසාදයක් නම්, ඔබ වැඩකරන්නේ අසතුටින් නම්, වැඩවලට අමතරව ඔබට තවත් වැඩක් පැවරෙනවා. ඒ තමයි කනස්සලු වීම. ඒකටත් ඔබට කාලයක් ගතවෙනවා.


හැම මොහොතකම සතුටින් වැඩකරන්න. වැඩ කියන්නේ ඔබේ ජීවිතය ක්‍රියාශීලී කරන උත්තේජකයක්. එහෙම හිතනකොට ඔබේ දවස තව බොහෝ දේවල් කරන්නට ඉතිරි කරගන්නත් ඔබට පුළුවන් වේවි.

July 12th 2024