මානසික අවපීඩනයෙන් (Depression) මිදෙමු BuzzFeed.lk
මානසික අවපීඩනයෙන් (Depression) මිදෙමු

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම්වලට අනුව 2020 වන විට මානසික අවපීඩනය (depression) අනිකුත් රෝගයන් අබිබවා දෙවැනි තැන ගනියි. අද වන විට සියදිවි නසා ගැනීම් බහුතරයකට එකම හේතුව වී ඇත්තේද මානසික අවපීඩනයයි.සැබවින්ම ලෝකයම කතා කරන මානසික අවපීඩනය යනු කුමක්ද? එහි ලක්ෂණ මොනවාද? ප්‍රතිකාර කවරාකාරද? යනාදි බොහෝමයක් ගැටලුවලට මේ ලිපිය ඔබට පිළිතුරු සපයාවි.


මානසික අවපීඩනය යනු…

විශාදය ලෙස නම් කෙරෙන්නේද මේ රෝගි තත්වයමයි. ජීවිතේ අපි එදිනෙදා ලබන අත්දැකීම් තුළ ඇතැම් විට කනස්සල්ලයක්, දුකක්, වේදනාවක්, කළකිරීමක්, එපා වීමක් තිබිය හැකියි. ඇතැම් විට දිගු නින්දකින් හෝ දින කිහිපයක් ඉක්මවමින් හෝ මෙම ස්වාභාවය පහව නොයන්නේ නම් එය දිනෙන් දින ගෙවී සති කිහිපයක්, මාස කිහිපයක් ඔබට වද දෙන්නේ නම් එය මානසික අවපීඩන තත්ත්වයක් විය හැකියි. තිස්සේම වදයක් වන තරමට මතකයේ රැඳුණු ඇතැම් සිදුවීම් ඔබටත් ඇති. මෙවන් තත්වයන් ඔබේ සාමාන්‍ය ජීවිතයට අසාමාන්‍ය ලෙස ප්‍රශ්නයක් වී ඇති නම් ඔබට එය හිසට වද දෙන්නක් නම් ඔබත් යම්කිසි ආකාරයක මානසික අවපීඩනයකින් පීඩාවිඳියි.

මානසික අවපීඩනය ඇතිවීමට හේතු…

මානසික අවපීඩනය ඇතිවීමට හේතු කිහිපයක් තිබිය හැකිය. මේ කුමන හේතුවක් නිසා හෝ ඔබ දිගුකාලීනව පීඩාවට ලක්වන්නේ නම් එය ඔබ නොදැනීම මානසිකව රෝගී කර ඇත.


1) අධික කාර්‍යබහුලත්වය.

2) බංකොළොත්බව.

3) සමීප අයෙකුගේ වියෝව.

4) අමිහිරි අත්දැකීම්.

5) ආදරය කළ අයෙක්ගෙන් වෙන්වීම.

6) විරැකියාව. 

7) රැකියාව අහිමි වීම.

8) සමච්චලයට ලක්වීම.

9) දිගුකාලීනව පීඩාවිඳින රෝග.

යනාදි හේතූන් නිසාවෙන් මොළයේ ඇති වන රසායනික වෙනස්වීම් මානසික අවපීඩනය ඇති කරයි.

හඳුනාගත හැකි රෝග ලක්ෂණ…

සාමාන්‍යයෙන් මෙම ලක්ෂණ සියල්ලම හෝ කිහිපයක් දිගු කාලයක් පුරාවට ඇති නම් ඒ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වේ.

1) සමාජ ඇසුරෙන් වෙන්ව හුදකලාවට ප්‍රියවීම.

2) නින්ද නොයාම හෝ ඇතැම් විට අධිකව ඇති වන නිදිමත.

3) සිතෙහි ඇති අවිවේකි ස්වභාවය.

4) සෘණාත්මක ආකල්ප නිතර ඇති වීම.

5) ආහාර අරුචිය සහ සිරුර කෙට්ටු   වීම.

6) දැඩි කැමැත්තක් තිබුණ දෑ කෙරෙහි ඇල්මක් නොමැතිකම.

7) අසාමාන්‍ය කේන්තිය.

8) හුදකලාව සිටිමින් දැඩි ලෙස කල්පනා කිරීම.

9) ලිංගික ආශාව පහව යාම හෝ ලිංගික ශක්තිය හීන වීම.

10) එක අරමුණක සිත නොතිබීම.

11) සිතට දැනෙන කම්පනය.

12) අහේතුකවම ඇති වන හිසරදය වමනය, පපුව වේදනාව.

13) සිරුරට දැනෙන අසාමාන්‍ය වෙහෙස.

14) අධිෂ්ඨානයක් නැති වීම.

15) මත්පැන්වලට ඇබ්බැහි වීම

16) කැමැත්තෙන්ම දිවි තොර කරගැනීමට සිත්වීම.

මෙම ලක්ෂණ කිහිපයක් දිගුකාලීනව ඔබට ඇති නම් එහි භයානක තත්වයන් ඇතිවීමට පෙර ප්‍රතිකාර ලබාගැනීම සුදුසුය.

මානසික අවපීඩනයට ලක්වන්නන්…

මෙය වයස් භේදයකින් තොරවම ඇති වන තත්වයකි. එම නිසා කුඩා දරුවන්ගේ සිට මහලු අය දක්වාම මෙම රෝගයට ගොදුරු වේ. නමුත් වයස අවුරුදු 12ට අඩු දරුවන් තුළ මෙම තත්වය දැකිය නොහැකි තරම්ය. මේ අතරිනුත් කාන්තාවන්ට මෙය බහුලව ඇති විය හැකිය. එමෙන්ම තරුණ පිරිස් වැඩි ප්‍රමාණයක් විශාදයෙන් පෙළෙන බවට හඳුනාගැනේ.

විවිධ මානසික අවපීඩන තත්වයන්…

මානසික අවපීඩනය විවිධ ආකාරයෙන් ඇති වේ.ඒ අනුව මෙහි විවිධ ස්වරූපයන් දැකිය හැකිය.


1) Endogenous Depression – පැහැදිලිව   දැකිය නොහැකි කිසිදු හේතුවකින්  තොරවම ඇති වන මානසික   අවපීඩනය.

2) Post Natal Depression – කාන්තාවන්ට   ප්‍රසූතියෙන් පසුව ඇති වන විශාද  තත්වයයි.

3) Smiling Depression – මෙය සිනහසීමේ   විශාදයයි. මතුපිටට නොපෙනෙන   සන්සුන් අයෙක් තුළ සිනහවට  පසුපස විශාදය තිබිය හැකිය.


කැමැත්තෙන්ම දිවි තොර කරගැනීම…


මානසික අවපීඩනයේ දැකිය හැකි භයානකම තත්වය නම් සියදිවි නසා ගැනීමට සිත්වීමයි. ලෝකයේ සිදුවන බොහෝමයක් දිවිනසා ගැනීම්වලට හේතුව මානසික අවපීඩනයයි. ඒ අනුව ලංකාවද එහි අවාසනාවන්ත ලෙස ඉදිරියෙන් සිටියි. සියතින්ම ජීවිතය නැති කරගැනීමට තරම් සිත්වීම දක්වා මෙය දුරදිග නොයා යුතු තත්වයකි. එනිසාම නිසි ප්‍රතිකාර ලැබීමෙන් මෙම අවාසනාවන්ත තත්වයෙන් ඔබට ගැලවිය හැකිය.

අතුරු ආබාධ…

මානසික අවපීඩනය නිසාවෙන් ඇති වන වෙනත් රෝගී තත්වයන් දැකිය හැකිය. ඒ අනුව දියවැඩියාව, හෘදයාබාධ, හිසරදය, වමනය,මත්පැන් සහ දුම්වැටියට ඇබ්බැහි වීම පෙන්වාදිය හැකිය.

තති තනිව ප්‍රතිකාර…

මෙම තත්වයෙන් මිදීමට තමාටම ගත හැකි ප්‍රතිකාර ඇත.ඒ මූලික ප්‍රතිකාරයන් වේ.

1) සිතන ආකාරය වෙනස් කිරීම.

2) ස්නායු උත්තේජක ව්‍යායාම කිරීම.

3) ක්‍රියාශීලි වීම.

4) සතුටින් සැහැල්ලුවෙන් සිටීම.

5) මානසික ඒකාග්‍රතාවය ඇති කරගැනීම.

6) ධනාත්මක වීම.

7) සුරතල් සතුන් ඇති කිරීම.

8) සංගීතයට සවන්දීම.

9) පොත් කියවීම.

10) චිත්‍ර ඇඳීම.

11) චිත්‍රපට නැරඹීම. 


ළඟම හිතවතෙකුගෙන් ප්‍රතිකාර…

තනිව ප්‍රතිකාර ලැබිය නොහැකි නම් ඔබට හිතවත්ම අයෙකුගේ උපකාර ලැබීම සුදුසුය. ඒ අනුව ඔබෙන් යමෙක් මානසික අවපීඩනයට උපකාර පතන්නේ නම්,

1) ආදරය දැක්වීම.

2) කාරුණික වීම.

3) දිගින් දිගටම සාකච්ඡා කිරීම. 

4) ප්‍රායෝගික ඉලක්ක පෙන්වීම.

5) පැහැදිලි අරමුණක් දීම.

6) නිවරදි තීරණ ගැනීමට උපකාරීවීම.

7) වැඩි අවධානය.

8) මනා සැලකිල්ල.යනාදිය තුළින් ප්‍රතිකාර කළ හැකිය.නමුත් එයින් ප්‍රතිඵලයක් නොලබන්නේ නම් වෛද්‍ය උපදේශ පැතීම වඩාත් සුදුසුය.

උපදේශනය…..

මූලික වෛද්‍ය ප්‍රතිකාර වන්නේ දිගුකාලීනව සාකච්ඡා කරමින් උපදේශකයකු ලෙස සමීපව ප්‍රතිකාර කිරීමයි.එය මූලිකම අවස්ථාවයි.

ඖෂධ …උපදේශනයෙන් එහාට යාමක් ලෙස ඖෂධ ලබාදීම පෙන්වාදිය හැකිය.නිසිලෙස ඖෂධ ලබාදීම තුළින් මෙයින් සම්පූර්ණයෙන්ම සුවය ලැබිය හැකිය.

විද්‍යුත් කම්පන ප්‍රතිකාර…ඖෂධ ලබාදීමෙන්ද සුව කළ නොහැකියි නම් මේ ප්‍රතිකාර ක්‍රමය තෝරාගැනේ.ඒ අනුව රෝගියාව නිර්වින්දනය කොට විද්‍යුත් උත්තේජනයක් තුළින් ප්‍රතිකාර කරනු ලබයි.

ප්‍රතිකාර ලබාගැනීමට යා යුත්තේ….

මූලික වශයෙන්ම ඔබට සමීප අයෙක්ගෙන් ප්‍රතිකාර ලැබිය හැකිය.නමුත් තත්වය වඩාත් දරුණුයි නම් පවුලේ වෛද්‍යවරයා මාර්ගයෙන් මානසික චිකිත්සකවරයෙක් හමුවීම සුදුසුය. එමෙන්ම ලංකාව තුළ ශ්‍රී ලංකා සුමිත්‍රයෝ වැනි ආයතන ඔබට සේවය සපයයි.

එසේ නම් ඔබත් මානසික අවපීඩනයෙන් පෙළෙන අයෙක්දැයි දැන් ඔබට අවබෝධයක් ඇති. ඉතාමත් අපහසුවෙන් ලබාගන්නා මිනිස් ජීවිතය නිකරුණේ නාස්තිවී යාමට ඉඩ නොදී ඔබත් ඔබේ හිතවතුන්ද මින් මිදීමට උත්සාහ ගන්නේ නම් ජීවත් වීම තරම් සුන්දර වෙන යමක් නැති බව ඔබත් තේරුම්ගනීවි.

November 20th 2020